දුම්බර වන පෙතේ සංචාරක ආකර්ෂණය දිනාගත් සුන්දරතම සංචරණ මාර්ගය වනුයේ දුම්බර කඳුවැටිය තරණය කිරීමය. නකල්ස් රක්ෂිතය යන නාමය තුළට ගැබ්ව ඇත්තේ අතැඟිලි මිට මෙළවූ හැඩයක් සහිත නකල්ස් (Knuckles) කඳුවැටිය නිසාවෙනි. බැලූ බැල්මට මෙහි ප්‍රධාන වශයෙන් කඳුවැටි පහක් පවතියි. තනි කඳුවැටියක් ලෙස තිබුණ ද මෙම කන්දට පසෙකින් අලුගල් කන්දත් අනෙක් පසින් රිළාගල හෙවත් ගෝණ්ණ කන්දත් සම්බන්ධ වී ඇත. දුම්බර තතිකාවත තුළ ජන ජීවිතයට වඩාත් සමීප වූ කන්දක් ලෙස මෙය ප්‍රචලිතය.
උසින් මීටර් 1865ක් පමණ වන මෙම කඳුවැටිය දවටගල ස්වභාවික මංපෙත ලෙස හඳුන්වයි. මෙම මංපෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිත නීත්‍යනුකූල මාර්ගයකි. මෙම මංපෙත ඉසව් දෙකක් ඔස්සේ තනා ඇති අතර එය නකල්ස්හි සුන්දරතම ගම්මාන දෙකක් වන බඹරැල්ල සහ තංගප්පුව යාකරනු ලබයි.
මහනුවර සිට කටුගස්තොට හරහා මඩවලට පැමිණ පසුව පන්විල, හුළුගඟ හරහා බඹරැල්ලට ළඟා විය හැකි අතර බඹරැල්ලේ සිට එම මාර්ගය තවදුරටත් ගෝමරය හරහා රංගලට යාවෙනු ලබයි. රංගල සිට තංගප්පුවට යා හැකි අතර ප්‍රධාන වශයෙන් කි.මී. 30කට වැඩි දුරක් මහාමාර්ග ඔස්සේ පවතින නමුත් බඹරැල්ල හා තංගප්පුව වෙන් කරන ප්‍රධාන කඳුවැටිය ලෙස නකල්ස් කඳුවැටිය පවතියි.